Wednesday, April 21, 2021

තාත්තා



මට මතක ඇති කාලෙක තාත්ත මට බත් කටක් කවල නෑ. ඒත් සැර කරපු වාර නම් අනන්තවත් තිබුන. ඉස්සර කවදාවත් තාත්ත මං නිසා අඬනව මං දැකල නෑ. ඒ නපුරු කමටද ලැජ්ජාවටද කියල මට තේරුම් ගන්න බෑ. ඒත් එතන නපුරුකමටත් ලැජ්ජාවටත් එහා ගිය දෙයක් තිබුන කියල පස්සෙ මට තේරුනා. ඉස්කෝලෙ ලමයින්ව අනිත් තාත්තල ලොකු ලොකු වාහන වලින් ගෙනත් බස්සල යද්දි මගෙ තාත්ත මාව එක්කගෙන ගියේ පයින්. මට ඒක ලැජ්ජාවක් වගේ දැනුන නිසා මං ඉස්සර තාත්තට ඉස්කෝලෙ ගේට්ටුව කිට්ටුවට එන්න දෙන්නෙ නෑ. මගෙ තාත්ත මට තේරෙන වයසෙදි මට පෙනුනෙ අසරණ මිනිහෙක් විදියට. මුකුත් කරගන්න බැරි, අපිට කන්න අඳින්න විතරක් දෙන මිනිහෙක් විදියට. තාත්තට මං ගැන ආදරයක් නෑ කියල හිතුනු වාර අනන්තයි. කොච්චර බය උනත් මං ඉස්සර මට පුලුවන් හැම වෙලාවකම මගෙ වචන වලින් තාත්තගෙ හිත රිද්දල ඇති. පන්තියෙ ළමයෙක් අලුත් සපත්තු දෙකක් දාගෙන ආවත් මං ගෙදර ඇවිත් නෝක්කාඩු කියන්නෙ තාත්තට. 


දවසක් එහෙම දෙයක් වෙලා තාත්ත මට ගැහුව. එදා මං කෑ ගහල තාත්තට බැන්න. මට හොඳට මතකයි. මුකුත් කරගන්න බැරි මිනිහෙක් කියල මං කෑගහනකොට තාත්ත ගහන එක නතර කරල කාමරේට ගියා. මං හිතුවෙ කෝටුවක් අරන් ආයෙත් ඇවිත් මට තව ගහයි කියල. ඒත් තාත්ත ආවෙ නෑ. ඒ වෙනුවට පහුවදා මං ඉස්කෝලෙ ගිහින් එද්දි මගෙ කාමරේ ඇඳ උඩ අලුත් සපත්තු දෙකක් තිබුන. ඇත්තටම එදා නම් මට ඇඬුන. ඊට කලින් දවසෙ තාත්ත මට ගැහුව නම් මේ තරම් රිදෙන්නෙ නෑ කියල හිතුන. මං තාත්තව හෙව්ව. බදාගන්න. අලුත් ගේක වැඩක් හම්බවෙලා තාත්ත ඒ වැඩ වලට ගිහින් තිබුන. එදා තාත්ත එද්දි මං නිදි. පහුවදා ඉස්කෝලෙ යන්න නැගිටිනකොටත් තාත්ත ගිහින්. මං එදා අලුත්ම සපත්තු දෙක දාගෙන ඉස්කෝලෙ ගියා. 


ගෙදර එද්දි මට ආරංචි උනා එදා වැඩ කරද්දි තාත්ත පපුවෙ අමාරුවක් හැදිල මැරුණ කියල. මං හොඳටම ඇඬුව. මං තාත්තට කෑගහපුව මතක් කර කර ඇඬුව. තාත්තගෙ මළගමේ කටයුතු සේරම ඉවර වෙලා ටික දවසක් ගියා. මං කොට්ටෙ අරන් තාත්තගෙ ඇඳට ගියා. ඒ ඇඳ තාත්තගෙ සුවඳයි. මං දැක්ක තාත්තගෙ හිස් වෙලා තිබුණු බෙහෙත් පෙට්ටිය. උණ්ඩි කරපු බෙහෙත් වට්ටෝරු ලියපු කොල දෙකක් ඒක ඇතුලෙම තිබුණ.. 


මට තේරුනා..


තාත්ත ඒ සල්ලි වලින් මට සපත්තු දෙකක් අරන් දීල වග..


තාත්ත ඒ මාසෙටම බෙහෙත් අරගෙන නෑ. හොඳම වර්ගෙන් සපත්තු දෙකක් මට අරන් දුන්නට ඒ කොහොමද කියල මං තාත්තගෙන් ඇහුවෙ නෑ. අහන්න මට තාත්තව හම්බුනෙත් නෑ. 


ඇයි තාත්ත එහෙම කලේ කියල අහන්න, ඇයි මට තවත් ගහන්නෙ නැතුව ගිහින් මට සපත්තු දෙකක් ගෙනාවෙ කියල අහන්න ආයෙත් මට තාත්තව හම්බෙන්නෙ නෑ. හිස් බෙහෙත් පෙට්ටිය දිහා බලාගෙන මං පැය ගානක් අඬන්න ඇති. තාත්තට කෑ ගහපු වචන සේරම මතක් කර කර මං ඇඬුව.


ඔව්. මගෙ තාත්ත නෙමෙයි, අද මුකුත්ම කරගන්න බැරි මිනිහ මමයි කියල මට දැනුන. මුකුත්ම කරගන්න බැරි මිනිහෙක් කියන්නෙ කාටද වග මට දැනුන.


කොටින්ම මට තාත්තගෙ ආදරේ මහමෙරක් වගේ දැනුන..


තාත්ත අරන් දුන්නු සපත්තු දෙක පෙට්ටියක දාල අදටත් මං ඒක පරෙස්සම් කරනව. තාත්තගෙ ඇඳ රෙද්දෙන් එන සුවඳ මං අදටත් විඳිනව. 


ආයෙම ඇවිත් තාත්ත මට ගහනකල් මං තවම බලන් ඉන්නව..


ඒ පාරවල් මෙච්චර රිදිල නෑ..

Thursday, August 1, 2019



නුගේගොඩ හන්දියෙන් බස් එකෙන් බහිනකොටත් රෑ 8ට වගේ. කලුවර වැටිල. නොහිතුව විදියට බස් හෝල්ට් එකේ එයා..


මේ වෙද්දි අපි breakup වෙලා මාස 2යි. මට ආයෙ එයා එක්ක එකතු වෙන්න ඕන කම තිබුණ. එයාටත් එහෙමයි කියල මං දැනන් හිටිය. ඒත් අපේ තිබුණු පොඩි පොඩි නොගැලපීම් නිසා අපිම කතා කරලයි මේ විදියට ඈත් වුනේ..


එයා මාව දැක්ක. මූණ වෙනස් වුනා. අපි දෙන්නම එක පාර හිනා වුනා..


මට තරහක් ආව. මේ රෑ තනියම මොනව කරනවද කියල.. ආයෙ හිතුණ.. 'මට මොකද?'


කතා නොකරත් බෑ. මං එහෙම්ම නැවතිලා ගානක් නෑ වගේ කතා කලා..


"කොහෙද මේ රෑ?"


"මං.. මේ.. වැඩ ඇරිල පොඩ්ඩක් shopping කරන්න ගියා.."


එයා කිව්වෙ බොරු කියල මට තේරුණා. එයාගෙ අතේ චූටි හෑන්ඩ් බෑග් එකකට අමතරව මුකුත්ම තිබුණෙ නෑ. මට තරහක් ආව. ඒත් මට එයා කිව්ව දෙයක් පිළිගන්නව ඇරෙන්න වෙන දෙයක් කරන්න අයිතියක් තිබුණෙ නෑ..


"ආ එහෙමද.. shopping කරල මහන්සි ඇති නෙහ්?"


මට කියැවුනේ තරහින්. ඒත් එයා ඒක ගනන් ගත්තෙ නෑ..


"ඔයා කොහෙද මේ රෑ?"


"මට හෙට interview එකක්. Shirt එකක් ගන්න ගියා"


මං මම වරදක් කලේ නෑ, එයා වරදක් කලා කියල පෙන්නන්න වගේ අතේ තිබුණු ඇඳුම් බෑග් එක පෙන්නුව. මං දැක්ක එයාගෙ මූණ වෙනස් වෙනව..


"අනේ. හොඳට face කරන්න. ගොඩ දාගන්න.."


මට ඒකට කියන්න දෙයක් තිබුණෙ නෑ. මං හිනා වුනා. එයාගෙ ඇස් වල කඳුළු පිරිල කියල මට පෙනුන.. මං එයාගෙන් ආයෙම ඇහුව..


"කොහෙද ගියේ?"


එයා බිම බලාගෙන..


"පාක් එකේ හිටියෙ. අපි හම්බෙන තැන. ඒත් ඔයාව හම්බුනේ මෙතනදි.."


මං ගොළු උනා. උඹ නම් පුදුමයි කියල කියන්න මට ඕනෙ උනා. ඒත් ඒක කියැවුනේ නෑ..


මේක විඳවීමක් කියල මට එක තප්පරේකට හිතුන. ආයෙම අපිට වැලි පාක් එකේ හම්බෙන්න බැරිද...


"බස් එකක් එනව. මං යන්නම්.."


මට එයාව නවත්තන්න ඕනෙ වුනා. ඒත් මං මාව නවත්තගත්ත. එයා ආයෙ හැරිල මං දිහා බැලුව..


"මං ආයෙ වැලි පාක් එකට යන්නෙ නෑ. ගිහින් එන්නම්.."


මේ ජීවිතේ උඹ වගේ කිසි කෙනෙක් ආයෙ මගේ ජීවිතේට එන එකක් නෑ. ඒ තරම් ආදරයක්.. මං නැතුවත් මං වෙනුවෙන් ජීවත් වෙන ආදරයක්.. මට ආයෙ දවසක හැරෙන්න හිතුනොත් මං පරක්කු වැඩි වෙයි කියල මට හිතුණ..


එයා බස් එකට අත දානකොටම මං කතා කලා..


"සයුරි!"


හැරිල බලපු එයාගෙ කම්මුල් වල කඳුළු පේළි දෙකක් මට හොඳටම පෙණුන..


"හෙට එන්න වැලි පාක් එකට. ඉස්සර වෙලාවටම.. ඉස්සර විදියටම.."


එයාට ඉකි ගහල ඇඬුණ. මූණ අතින් වහගෙනම එයා බස් එකට නැගල ගියා.. එදා අපි වෙන් උන දවසෙ පැතුව සැනසීම වගේ සිය දහස් ගුණයක සැනසීමක් මගේ හිතට දැණුන.


ජීවිතේ තිබුණෙ අපි නැති තැනක නෙමෙයි. අපි ඉන්න තැනක.


ඉතින්.. නුඹ හෙට අනිවාර්යයෙන්ම එන බැව් මම දනිමි. ඒ මොහොත වන තෙක් මම නොඉවසිල්ලෙන් බලා සිටිමි. නුඹද එසේම බැව් මම දනිමි. ඉතින් නුඹ හෙට එන්න. යළිත් ජීවත් වෙන්න..


-නෙත්මි යශෝධා-

Wednesday, June 20, 2018


අගෝස්තු 16..


අද තමයි දවස. උනුසුම් හාදුවකින් අපි වෙන් වුනු. ජීවිතේ එක තැනක තියල කාලයට ඉඩ දුන්නු. නොසන්සිඳෙන උමතුවක හදවත අතරමං කරපු..

හැම සතියෙ දවසකම නොවැරදීම මේ කොළඹ අහස යට අපි හමු වුනා. ඒක සුන්දර අතීතයක් නොවුනත් සුන්දර මතකයක්. ආයෙ අලුත් නොවෙන මතකයක්.

හිස් වචන ගොඩක් එකතු කරල මං මේ ගලපන්නෙ ඇස් වලට දරන්න බැරි වේදනාවක්. කාලයත් එක්ක අපේ ජීවිත කොයි තරම් නම් වැරදුනාද.. වරද උඹේද මගේද කියලවත් හිතන්න බැරි තැනක අද අපි නතර වෙලා

මට මේ පාලුව හුරු නෑ..

අදටත් අපි ඉඳ හිට මගදි හම්බෙනව. මූන බලල හිනා වෙන්න තරම් වත් වෙලාවෙදි මගෙ හිත හයිය නෑ.. මට ඕනෙ උනේ උඹත් වෙලාවෙදි දුක් වෙනව දකින්න. ඒත් මට එහෙම දෙයක් දැනෙන්නෙ නෑ..

ඉස්සර උඹ ආසම උන විදිය.. මගේ පපුවට ඔලුව තියන් ගොඩක් වෙලා ඉන්න.. මට ඕනෙ ආයෙත් පොඩි වෙලාවකට මොහොතට යන්න. ඒත් ආයෙ එන්නෙ නැති ජීවිත කතාවක් වෙන්න තරම් අපේ ආදරේ කෙලවරක් වෙලා..

ජීවිතේ අලුත් බලාපොරොත්තු නැත්තෙ නෑ. ඒත් පුංචියට හරි හිතේ තදටම තියෙන බලාපොරොත්තුව උඹ. උඹට මේ වචන දැනෙන්නෙ නැති වෙයි. මට තරම්..

ඒත් මට ඕනෙ මට දැනෙන්න.. උඹට දැනෙන වග

ඉතින්..

අගෝස්තු 16..

අද තමයි දවස. උනුසුම් හාදුවකින් අපි වෙන් වුනු. ජීවිතේ එක තැනක තියල අපි කාලයට ඉඩ දුන්නු. නොසන්සිඳෙන උමතුවක හදවත අතරමං කරපු..





-
නෙත්මි-



මගේ වගේම උඹෙත් ඇස් අඩු නැතිව තෙමුව අපේ සෙනෙහසට දැන් හුස්ම ගන්න බැරි ගානටම වයසයි. හැම දවසකම කාටත් හොරෙන් අපි අපිව මතක් කරපු හැටි. උඹේ ආදරේ මගේ හිතේ එහෙම්මමයි..

ඔව්.. උඹට මතකද දන්නෙ නෑ.. ඉඳ හිට අපි අපේ ගෙදර වැටට එහා පාර දිගේ අත් අල්ලන් ගිය හැටි. පුංචි වෙලාව ඇතුලෙ අප්රමාණ සෙනෙහසක් තැන්පත් වෙලා තිබුණා.. ඔව්.. අපි නොසෑහෙන්න ආදරේ කලා. මනුස්ස හදවතකට දරන්න බැරි තරමටම.. කාලයත් එක්ක අපේ ජීවිත මෙච්චරයි කියල කියන්න බැරි ගානට වෙනස් උනා.. ඔව්.. අපේ ජීවිත, වටිනාකම්, මේ හැම දෙයක්ම අද වෙනස් වෙලා. ඒත් උඹ දන්නවද දෙයක්? 
තවම අහසෙ පායන්නෙ මං එදා උඹට පෙන්නල ඔච්චම් කරපු හඳමයි.. තවම මේ පරිසරයෙ දැනෙන්නෙ උඹ ළඟ ඉද්දි එදා දැනුන උණුසුමමයි.. තවම රෑ හීන වලට එන්නෙ එදා ආව උඹමයි..

කාලයත් එක්ක අපිව අතීතෙට එකතු වෙලා.. ජීවිතයක් කරගත්තු ආදරෙත් දැන් නැතිව ඉන්න හුරු වෙලා..
ඒත්.. තවම හැඟීම් පරණ වෙලා නෑ.. උඹව ආයෙ දකින්න, උඹේ කටහඬ අහන්න, අන්තිම හුස්ම යන්න කලින් උඹ ගාව එක පාරක්, තවත් එක පාරක් තුරුල් වෙන්න මට ආසයි.. මේ කවිය උඹටයි ලිව්වෙ කියන්න, උඹ වයසට ගිහින් කියල හිනා වෙන්න

ඔව්.. ඒත් උඹට කලින් මැරෙන්න ආසයි

මං අදත් බලන් ඉන්නව.. මේ වැට පුරාම අදටත් මල් පිරිලා. අතරින් මං බලන් ඉන්නව. අත් අල්ලගත්තු හිනා මූණු ඈතින් යන හැටි මට පේනව

තව... මං දකිනව

අපිත්...💕



-
නෙත්මි-


Saturday, June 16, 2018


කාලය හරි ඉක්මනින් ගෙවිල ගිහින්. උඹ, මම, අපි දැන් ගෙවන්නෙ වෙනස් ජීවිත. අපිට යන්න උනේ ඉර එළිය බින්දුවක් වත් නොවැටුණු අඳුරු මාවතක. මට පාර පෙන්නුවෙ උඹ. අපි අමාරුවෙන් කෙලවරක් හෙව්වත් අපිටත් හොරෙන් අපේ ජීවිත අපිට සින්න වෙලා ගියා.. 

උඹට මතකද? හිත් වලට දරන්න බැරි කතා අපිට කොයි තරම් නම් තිබුනද.. යන්තමට අපේ මාවතේ දල්වල තිබුණු එලියකින් පාර හොයාගෙන අපි කෙලවරක් හොයන්න කොයි තරම් නම් උත්සහ කලාද..

ඒත් උඹ නැවතුනා..
මාවත උඹට අඳුරු වැඩි උනා..
මං තනියම අතරමග දාල උඹ ආපහු හැරුණ..
ඒත් මට දැන් තනියම පාර හොයාගන්න බෑ..

ඉතින්... 
පාර තවම එළියයි...

උඹ ආයෙ එනවද?

-නෙත්මි-





එන්න..
අපි යමු අතීතෙට
අලුතින් ලියමු මේ කතාව
සෙනෙහසකට නොව
මිතුදමකට..
සුන්දර කෙළවරක් දකින්නට..

-නෙත්මි-




උඹ මාව තුරුල් කරගත්ත..

කාලය නැවතිලා. මට දැනුනෙ මේ මං හුස්ම ගන්න අන්තිම තප්පරේ කියල. එහෙම්මම මට හීනෙන් ඇහැරුණා. උඹ මගෙ ළඟ හිටියෙ නෑ. හීන කොයි තරම් නපුරුද. එලියෙ වැහි අඳුර එක්ක ලා හීතලට නැවතුමක් නැතුව ඉපදුනු මගේ කඳුලු වලට උඹේ මතක තප්පරේට දාස් ගානක් එකතු උනා. උඹට මතකද? මං උඹට ආදරේ කරපු තරම්.. උඹේ ඇස් වලට නොනැවතී කඳුලු දුන්නු දවස් වලට වඩා දවස් කොයි තරම් ලස්සනද..

මං අද හිනා වෙනව කියල උඹට පේනව ඇති. හිනාව ඇස් වලින් මනින්න බැරි වග උඹ දන්නවද? හදවතක් නොමරා මරන ආදරේ නිසා අද ජීවිතේ අතරමගක නැවතිලා. හැම තප්පරේම මගේ මතකෙට ආව උඹව මට හැම තප්පරේදිම අමතක කරන්න වෙලා. මට ආසයි අතීතෙට යන්න. ආයෙම. නැවතුනු හිනාව, උඹේ අව්යාජ සෙනෙහස, අපේ අහින්සක හීන ආයෙම දකින්න. එක තප්පරයක් උඹට තුරුල් වෙන්න. මැරෙන්න කලින් ආයෙම මොහොතකට ජීවත් වෙන්න. කෙටි පණිවිඩයක් එද්දි උඹ කියල හිතිල එක පාරටම හිනා වෙන්න.. ආයෙ නොඑන අතීතෙකට යන්න මට ආසයි.

මුලු ලෝකයක් වෛර කලත් ජීවිතේ කොයි තරම් ලස්සනද. සීසීකඩ ගිහින් අතරමං වෙච්ච ජීවිත දෙකක් වෙලා අද අපි දෙතැනක. උඹ දන්නවද? මමත් හීන දකිනව. වෙනස් විදියට. මමත් ජීවත් වෙනව. වෙනස් විදියට.. මමත් හිනා වෙනව. වෙනස් විදියට..

ඒත් මං ආසම ඉස්සර විදියට..

හැම රෑකම මං හීන දකිනව. හැබෑ ලෝකෙදි නොපෙනෙන හීන.. දකින්න අවසර නැති හීන. ලෝකෙ පිටස්තරයො නෑ..

හැම හීනෙකම හිටියෙ උඹ විතරයි..

උඹ මාව තුරුල් කරගත්ත... 

-නෙත්මි-