Wednesday, January 17, 2018

තප්පර කෝටි ගාණක මතකයක්..

ලියන්න මුකුත් නැති තැන මතක් කලා මම උඹ ගැන ටිකක්. ඇත්තටම උඹ මට නිතර මතක් උනත් මං ඒ ඉක්මනටම උඹව අමතක කරනව. ඒ, ඒ අතීතෙට ආදරේ නැති නිසා නෙමෙයි. ඒ අතීතේ දැන් තියන වර්තමානෙට බය නිසා. උඹ දන්නවද මං මතක් කලා මන් උඹව ඉස්සෙල්ලම දැක්ක දවස. මට අද වගේ මතකයි. උඹ සුදු පාටයි නිල් පාටයි කමිසෙකට ඩෙනිම් කලිසමක් ඇඳල හිටියෙ. එදා තමයි මං උඹව ඉස්සෙල්ලම දැක්ක දවස. එත් මං එදා උඹට ආදරේ කලේ නෑ. හැබැයි මට එදා හිතුන මං උඹට ආදරේ කරයි කියල. උඹ එදා ඇවිත් ඉස්සෙල්ලම  මට අතට අත දුන්න මතකයි. ඒ කොළඹදි. එදා උඹ මාත් එක්ක සෑහෙන්න කතා කලත් මං උඹට වැඩිය කතා කලේ නෑ. මොකද මට එහෙම කතා කරන්න දෙයක් තිබුනේ නෑ. ආදරේ කියන්නේ මොකද්ද කියලවත් මට අදහසක් තිබුනේ නෑ. උඹ මට සෑහෙන්න දේවල් කිව්ව. ඉගෙනීම ගැන, ජිවිතේ ගැන, ගොඩක් දේවල්. මං ගණන් නොගන්න ගානට හිටිය කියල උඹ මට බැන්නත් මට මතකයි. ඒත් අද ඒ දේවල් මට වචනයක් වචනයක් ගානෙ මතක තිබ්බට උඹට නම් වචනයක්වත් මතක නැති වග මං හොඳට දන්නව. එදා උඹ මට earphone එකක් තෑගි දුන්න මතකද? ඒක අදටත් පරෙස්සමට මගේ බෑග් එකේ තියනවා. ඒත් ඒකෙ එක පැත්තක්වත් දැන් ඇහෙන්නේ නෑ. 😄 ඒක ඔතල තිබ්බ කවරෙත් මගේ ළඟ පරෙස්සමට තියෙන වග උඹ දන්නේ නැතුව ඇති. ඒක දුන්නෙ පහු වෙච්ච මගෙ උපන්දිනේට කියල. 

එදා හවස උඹ ඉස්සෙල්ලම මට කෝල් කළා මතකයි. හරියටම හවස 6ට විතර. මං ගෙදර ගියාද බලන්න. එදා ඉඳල උඹ මට ටික ටික ලං වෙලා පස්සෙ කාලෙක ආදරේ කිව්වත්, ආදරේ කියන්නේ මොකද්ද කියලවත් නොදැන උන්නු මං උඹව ඉස්සෙල්ලම දැක්ක දවසේ ඉඳල උඹට පොඩ්ඩ පොඩ්ඩ ආදරේ කරල තිබුන. ඒත් මගේ හිතේ තිබුනේ බයක්. උඹ යන්න යයි කියල. කොහොමහරි කාලයත් එක්ක මං උඹට නොසෑහෙන්න ආදරේ කලා. ඒ ආදරේ මෙච්චරයි කියල කියන්න බැරි තරමට. අව්රුද්දකටත් එහා ආදරේ කරපු මට උඹේ පුංචි වෙනසත් මහ ලොකුවට දැනුන. ඒත් ඒ ආදරේ පොඩ්ඩක්වත් අඩු උනේ නෑ. උඹේ ආදරේ අඩු වෙන වගත් මට නොදැනුනා නෙමෙයි. 


උඹට මං නොසෑහෙන්න ආදරේ කළා. උඹට මතක නැතුව ඇති මං උඹට කවදාවත් බැනල නෑ කියල. මං කිව්වෙ ඒ කාලෙ. කකුල් දෙක අල්ලලා වැඳල යන තරමට මං උඹට ආදරේ කළා. කාලයත් එක්ක උඹ මට ඒ තරම් ආදරේ නැති වග මා එක්ක කිව්වා උනත්, මගේ ආදරේ මෙහෙමයි කියලවත් වෙනසක් උනේ නෑ. ඒත් මට වරදක් නොකියම පවා උඹ මාව දෙතුන් පාරක් දාල යන්න හදද්දි මං අඬල අඬල උඹට ඉන්න කිව්වෙ ඇයි කියල මට අදටත් හිතාගන්න බෑ. අන්තිමේදි උඹ යන්න ගියා. දැන් ටික කාලෙකට කලින් ඒ. පුරුදු විදියටම එදත් උඹ කිව්වේ, උඹට දැන් මං ගැන ආදරයක් හිතෙන්නේ නෑ කියල. උඹ ඉන්නකල් උඹට ආදරේ කළා මදි නේද කියල මට දැන් හිතෙනවා මැණික. ගියාට පස්සේ මං උඹට නොසෑහෙන්න බනින්න ඇති. හැබැයි ඒ වෙන කා එක්කවත් නෙමෙයි. උඹ එක්ක විතරයි. හැබැයි ඒ මං කිව්ව වචන උඹට මන් ගැන කේන්තියක් ඇති කරනවා කියල මං දන්නව. ඒ වචන වලින් උඹට රිදුන. හැබැයි ඒ වචන වලින් උඹට වඩා ගොඩක් මට රිදුන මැණික. උඹ දැන් මට වෛර කරනව ඇති. සමහර විට එහෙම නැතුවත් ඇති. ඒ මොනව කොහොම උනත් මං එදා වගේම අදටත් උඹට ආදරෙයි. සමහරවිට එදාටත් වඩා. 

උඹ මට ආදරේ කරන හැටි උගන්නපු විදියටම වෛර කරන්නත් ඉගැන්නුවනම් කියල හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. කොහොම උනත් ජිවිතේ ඉස්සරහට යනවද නැද්ද කියල තීරණය කරන්න මට මේ ගෙවෙන පැය 24 මදි. ඒ හැම තප්පරේම මට මතක් වෙන්නේ උඹව. දැන් ඉන්න උඹව නෙමෙයි. ඉස්සර හිටිය උඹව. මං උඹේ හැම හුස්මකටම ආදරේ කලා. ඒ ආදරේ උඹට මුණගැහේවි රත්තරන්. කවදම හරි, කොහේදිම හරි තැනක. උඹයි මමයි විතරක් දන්න, මම විතරක් ජීවත් වෙච්ච, උඹේ ආදරේ දිය වෙච්ච, මගේ ආදරේ මැරිච්ච තැනක..





Saturday, January 6, 2018

-අපේ ජීවිත​-  


නුඹේ ඇස් දුටු මුල්ම දවසේ මගේ වේ යැයි කියා සිතුවා..
මගේ කරගන්නට සිතා මම නුඹේ ලෝකෙට පාර කැපුවා..
මගේ සිතුවිලි නුඹත් අරගෙන අපේ ලෝකෙක හීන තැනුවා..
හැබෑවක් කර ගන්ට  ලොව හෙටක් හැමදා ඉතිරි කෙරුවා..


කලක් ගත විය ලොවක් අබියස නුඹත් මා එක් කෙනෙක් වූවා..
හීන මාලිග හැබෑ වන්නට තව හුඟක් කල් නැතැයි කීවා..
සනුහරේ මැද එක් වෙනා දින දිනෙන් දින අප ළඟට ආවා..
එදා සිට දුටු සිහින ලෝකය ඇවිත් අප වෙත සිනා පෑවා..


හදිසියේ අපි තැනූ ලෝකය ඉරි තලා බිම ඇද වැටෙන්නේ..
නුඹේ ලෝකෙට මගේ තැන ගත් තව කෙනෙක් විත් ඇතුලු වන්නේ..
හෙටට දුටු  හීන ලෝකය මටම පමණකි දැන් පෙනෙන්නේ..
නුඹේ පණිවුඩ එකින් එක මට අලුත් ලොව ගැනමයි කියන්නේ..


ජීවිතේ එක් තැනක නැවතී නවාතැන් නැති වී හිඳින විට..
කවුරුදෝ ඇවිදින් යලිත් මගෙ කඳුළු පිසුවා හොරෙන් හෙමිහිට..
නුඹේ ලෝකයෙ අතරමං වුන මගේ හදවත පිළිවෙලක් කොට..
ඇගේ හදවත තනිව හැදුවා රුවන් මාලිග මගේ කර පිට..


කඳුළු ටික ටික වල දමා ඇය මගේ ලෝකය එළිය කෙරුවේ..
ටිකෙන් ටික මං නුඹේ මතකය සිතින් ඈතක තියා මැරුවේ..
ඇයයි නුඹ බිඳි මගේ හද තුල අලුත් ලෝකෙට කිරුළ දැරුවේ..
එදා රෑ මා කඳුළු නැතුවයි උඹ ලියූ ලිපි ගොඩක් ඉරුවේ..


උඹට නොකියම අපේ ලෝකය එකතු වී අපි පාට කෙරුවා..
ලෝකයක් මැද අලුත් ලෝකෙට ඇයත් එක්කල පාර කැපුවා..
මගදි නොහැරුණ ඇගේ ලෝකෙම මගේ වී අපි හීන මැව්වා..
හීන සේරම හැබෑ කරගෙන එකතු වී අපි ලොවක් තැනුවා..


වසර ගණනාවක් ගෙවී ගොස් ලොකු පුතා යලි ගෙදර ආවේ..
උඹේ මතකය කිසි දිනක නෑ මගේ ඇස් මත කඳුළු වූවේ..
පුතුගෙ සරසවි ගමන ගැන ඔහු ඇවිත් අප වෙත කතා පෑවේ..
උපාධිය ඔහු ලබා ගන්නට අපිත් එන්නැයි කියා කීවේ..


උපාධිය ගත් පුතා පරිණත අයෙකු වී මා වෙතට ආවා..
තරුණියක වෙත සිත් බැඳීලා ඇති බවක් ඔහු මහට කීවා..
මට මෙන්ම ඔහු හටත් කඳුලැල් උරුම වෙයි සිත කෙඳිරි ගෑවා..
නුඹව සිහි වී දිලිඳු සිත මගෙ පරණ කවියක් යලිත් ලීවා..


ඇගේ තොරතුරු සොයා බැලුවෙමි ඉතා යහපත් වීය වත ගොත..
දින යොදාගෙන ගියා අප  වෙසෙන ගම්බද නිවාසය වෙත..
දුටු සැනින්  අයාලේ ගොස් අතරමං වූවා මගේ සිත..
ඇගේ රූපය සිහි කලේ මට එදා හිනැහී උන් නුඹේ වත..



ඇගෙ පියා විත් සිනහ මුහුණින් අපව ගෙතුලට කැදවගත්තේ..
නමුදු පැනයකි මහද නලියනඇගේ මව ඇයි මෙතැන නැත්තේ..
ඇසූ විට මා ඇගේ මව් ගැන කඳුළු බිඳු ඇගෙ දෑසෙ ඇත්තේ..
පෙන්වුවා ඇය ඇගේ මව් රුව වැලපෙමින් පින්තූරෙ මත්තේ..


වසර දහසයකට උඩදි ඇය මිය ගියා ලොකු ලෙඩක් හින්දා..
කියා  මට පෙන්වුවා  රූපෙ ඇයගේ දෑත රන්දා..
මගේ පණ පොද එදායින් පසු කොහේ සැඟවූවදෝ මන්දා..
නුඹේ රුව දැක සුසුම් සේරම  ගොළු වෙලා මහ දුකක් වින්දා..


තනිව වියපත් වූ මගේ සිත යලිත් නුඹ ගැන මතක් කෙරුවා..
එදා පටන්ම එදා වාගෙම දවස් ගානක් නින්ද මැරුවා..
නුඹේ නාමෙන් තෙමුණු ඇස් වල යලිත් කඳුලැලි ගෙවල් තැනුවා..
තැපෑලෙන්  නුඹේ දිනපොත දිනක් මා හා කතා කෙරුවා..



ලියුම් කවරයෙ කොනක පොඩියට හිතවතාණෙනි කියා තිබුණේ..
නුඹේ සැමියා අතින් ලියැවුණු බවක් එහෙයින් මහට දැනුනේ..
අපේ ඉස්සර ආදරේ ගැන ඔහුත් දන්නා බවක් හැඟුනේ..
සමාවක් ඇයි අයැද ඔහු මේකුමක්දෝ මෙහි අරුත සිතුනේ..


නුඹේ වත ගොත කියෙවු මගෙ සිත මැරි මැරී උපදිමින් යලි යලි..
කඩා වැටුණා දෑස් අතරින් ඉමක් නැති වූ විරහ කඳුලැලි..
නුඹට පෙම් කොට වෛර කල සිත මටම නැගුවා දහක් මැසිවිලි..
නුඹේ මව් පියො නිසා රහසේ එදා නුඹ දිවි දුන්නදෝ බිලි..



 දුකින් කාලයක් ගෙවිලා හදවතේ නුඹෙ ලෙඩක් මතු විය..
පුංචි ලෝකෙක තැනූ මාලිග අතර නුඹෙ සිත තනිව ලෙඩ විය..
මම  පමණක් රජ වු නුඹෙ සිත ලොවට හොරැහින් එදා තනි විය..
අනේ අප උන් තුරුණු විය මට එදා අද මෙන් යලිත් සිහි විය...


වෛර නොකලෙමි එසේ සිතුවත් අපේ හීනෙට එදා මිය ගිය..
යලිත් නොම එයි කඳුලු සැලුවත් නුඹේ නාමෙන් හෙටත් අඳුරුය..
ලපටි නැත අද මහලු මගෙ සිත තවත් ලොවකට මහා රජෙකුය..

දන්නවද උඹ ඒත් රහසක්නුඹයි හෙටටත් මගේ රැජිණිය..