උඹ
මාව තුරුල් කරගත්ත..
කාලය
නැවතිලා. මට දැනුනෙ මේ මං හුස්ම ගන්න අන්තිම තප්පරේ කියල. එහෙම්මම මට ඒ හීනෙන් ඇහැරුණා. උඹ මගෙ ළඟ හිටියෙ නෑ. හීන කොයි තරම් නපුරුද. එලියෙ වැහි අඳුර එක්ක ලා හීතලට නැවතුමක් නැතුව ඉපදුනු මගේ කඳුලු වලට උඹේ මතක තප්පරේට දාස් ගානක් එකතු උනා. උඹට මතකද? මං උඹට ආදරේ කරපු තරම්.. උඹේ ඇස් වලට නොනැවතී කඳුලු දුන්නු දවස් වලට වඩා ඒ දවස් කොයි තරම් ලස්සනද..
මං
අද හිනා වෙනව කියල උඹට පේනව ඇති. හිනාව ඇස් වලින් මනින්න බැරි වග උඹ දන්නවද? හදවතක් නොමරා මරන ආදරේ නිසා අද ජීවිතේ අතරමගක නැවතිලා. හැම තප්පරේම මගේ මතකෙට ආව උඹව මට හැම තප්පරේදිම අමතක කරන්න වෙලා. මට ආසයි ඒ අතීතෙට යන්න. ආයෙම. ඒ නැවතුනු හිනාව, උඹේ අව්යාජ සෙනෙහස, අපේ අහින්සක හීන ආයෙම දකින්න. එක තප්පරයක් උඹට තුරුල් වෙන්න. මැරෙන්න කලින් ආයෙම මොහොතකට ජීවත් වෙන්න. කෙටි පණිවිඩයක් එද්දි උඹ කියල හිතිල එක පාරටම හිනා වෙන්න.. ආයෙ නොඑන අතීතෙකට යන්න මට ආසයි.
මුලු
ලෝකයක් වෛර කලත් ඒ ජීවිතේ කොයි තරම් ලස්සනද. සීසීකඩ ගිහින් අතරමං වෙච්ච ජීවිත දෙකක් වෙලා අද අපි දෙතැනක. උඹ දන්නවද? මමත් හීන දකිනව. වෙනස් විදියට. මමත් ජීවත් වෙනව. වෙනස් විදියට.. මමත් හිනා වෙනව. වෙනස් විදියට..
ඒත්
මං ආසම ඒ ඉස්සර විදියට..
හැම
රෑකම මං හීන දකිනව. හැබෑ ලෝකෙදි නොපෙනෙන හීන.. දකින්න අවසර නැති හීන. ඒ ලෝකෙ පිටස්තරයො නෑ..
හැම
හීනෙකම හිටියෙ උඹ විතරයි..
උඹ
මාව තුරුල් කරගත්ත... ❤
-නෙත්මි-
No comments:
Post a Comment