-සේකරයන්ගේ පද-
'මා කවි ලියන අතර
මා මිතුරෝ
පොළොව බෙදා වෙන් කරගෙන
ඒ මත රන් රිදීයෙන්
ඇත් අස් රිය පියවර සෙන්
මහ මන්දිර ගොඩනැගුවෝ
නිල තල ගරු බුහුමන්
රජ මැතිඳුන්ගෙන් ලබුවෝ..'
සිය අසමසම කලා සංකල්පයන්ගෙන් සුපෝෂිත කොට මානව සහෘදයාගේ හදවත් පසාරු කොට යා හැකි තරම් තියුණු කලා ඇසකින් ලොවක් දෙස බැලීමට සමත් වූ මහගමසේකරයන් සාහිත්‍ය ඉතිහාසයේ නොමැකෙන සටහන් රාශියක් තැබූ ගාන්ධර්වයෙකි. වල් බිහි වී ගිය සාහිත්‍ය කෙත අස්වැද්දුවේ ඔහු ය. සියලු මිනිස් හදවත් එකට ගැහෙනා දිනක් ගැන ඔහු සිහින දුටුවේය. සේකරයන්ගේ වෙනස්ම වූ කලාව මිනිස් හදවත් දහස් ගනනින් සුවපත් කිරීමට සමත් වූ බව නොරහසකි. විටෙක මිනිස් ඇසට කඳුළු ගෙන ඒමටත්, තවත් විටෙක ඇසේ කඳුළු පිසලීමටත් සේකරයක්ගේ තියුණු වදන් සමත් ය. 1929 අප්‍රේල් 7 වන දින රඳාවානේදී උපත ලද මේ මහා කලාකරුවා තුල කලාකරුවන් බොහෝ පිරිසක් ජීවමානව සිටියේ යැයි කිව හැකිය. ඒ, කවියෙකු, ගීත රචකයෙකු, නව කතා කරුවෙකු, කෙටිකතා කරුවෙකු, නාට්‍ය රචකයෙකු හා චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙසය. තවද ඔහු චිත්‍ර ශිල්පයටද ඒ හා නොවෙනස් දක්ෂතාවක් දැක්වීය. ඔහු කලාකරුවකු වීමට මූලිකම හේතුව ඔහුගේ පියා වන්නට ඇත. සේකරයන් සිය 'ප්රබුද්ධ' කාව්‍ය සංග්‍රහය පිළිගන්වමින් සිය පියා ගැන මෙසේ සඳහන් කොට ඇත.
'විසල් සුදු ඩිමයි කඩදාසි මත
තබා මහ කවකටුව දිග රූල
ඇඳ නෙක මෝස්තර මල් හා කොළ
කපා කැටයම් ඉඳු බොකුටු නියනින්
විශ්වයෙහි රටාවම කලාවට නගන හැටි
කුඩා කල සිටම මට කියා දුන් තාත්තට..'
සිය පියාගේ ආභාශය යටතේ කෙමෙන් වැඩෙන මේ පුතු, මුළු මහත් සාහිත්‍ය සංහතියේම අලුත් පිටුවක් පෙරලන්නේ හෙමින් සීරුවේය. ඔහු සිය කවි සිත පල කලේ වෙනස්ම ආකාරයකටය. රාගයෙන් තොර ප්‍රේමයක් ගැන මවාගත් ප්රතිරූපයකින් කතා කරන ඔහු හා උන් සමකාලීන කවියන් රැසක් අතුරින්, ඔහු කතා කලේ රාගය පමණක් නොව මෛත්‍රියද මුසු වූ යතාර්තවාදී ප්‍රේමයක් ගැනය.
'වර්ෂාව එලෙසමය
ස්නේහයෙන්
ඇගෙ මුහුණ සිප වැලඳ
තුරුලු කර ගති ඔහු ඇය
රාගය පමණක් නොව
මෛත්‍රියද එතැන විය'
-ප්රබුද්ධ-
 |
|
සේකරයන් සැම විටම සත්‍ය පමණක් හඹා යන බැව් කැපී පෙනෙන්නකි. සිය නිර්මාණ තුලින් මවා ගත් ෆැන්ටැසියක් තුල මනුස්ස හදවත් ගැහෙන්න ඉඩ හරිනවාට වඩා යමක් ඔහු බලාපොරොත්තු විය. යතාර්ථයක් තුල මිනිසා අතරමං කිරීමට ඔහු සමත් වූයේ එබැවිණි. ප්‍රේම කොට ප්‍රේමය සොයන සිත් අතර, සේකරයන් ලීවේ ප්‍රේමය හොඳින්ම දන්නේ ප්‍රේම නොකල සිත් බවයි. මිහිරට ගී ගයන්නේ ගායකයන් යැයි පවසන සිත් අතර, සේකරයන් කීවේ මිහිරටම ගී ගයන්නේ කිසිම දවසක රස බසක් නෑසූ සවන් බවයි. දයාවට උල්පත වන්නේ සෙනෙහස උතුරා යන තරම් ලැබූවන් බව පවසන සිත් අතර, සේකරයන් පැවසුවේ දයාවට උල්පත වන්නේ කිසිම දවසක තෙතමනක් නොලැබූ සිත් බවයි. සේකරයන් බාහිර මිනිස් සිත උඩින් අතගා කවි ලිව්වේ නැත. වෙනස්ම කෝණයකින් මිනිස් සිතෙහි හැඟීම් වල පතුලටම ගොස් එය හීන් සීරුවේ පිරිමදින්නට සේකරයන් සමත් විය. ප්‍රේමය ගැන අව්‍යාජ ප්‍රතිරූපයක් තුලින් යතාර්තය මවා පෑමට ඔහු සමත් විය. පෙම්වතිය සඳට උපමා කොට, පසු කලෙක වේදනා විඳින පෙම්වතෙකු සිය උපමාව වෙනස් නොකර වෙනස් කරන අයුරු සේකරයන් දක්වන්නේ හාස්‍ය හා දුක ශෝකය සියල්ල වචන කිහිපයකට මුසු කරමිනි.
'සඳ දෙවියෙකැයි ගෙන
පුද පූජා කලෙමි.
අම දියරෙන් පිරුණු
බඳුනක් සේ ගතිමි.
සඳ මළ ලෝකයකි
ඊයේ දැනගතිමි.
මම එය ඔබේ මුහුණට උපමා කරමි..'
-නොමියෙමි-

සාහිත්‍ය පිළිබඳව හසල දැනුම් සම්භාරයක් සතුව තිබූ සේකරයන් ව්‍යංගර්ථ කෙරෙහිද බොහොමයක් සරල යෙදුම් භාවිත කලේය. වඩාත්ම සංවේදී මාතෘකාවක් වන ප්‍රේමය ගැන මෙන්ම විරහව ගැනද සේකරයන් විශේෂ අවධානයකින් කතා කල බව පෙනෙන්නට තිබේ. ඒ, මනුස්ස හදවත ලෙහෙසියෙන්ම ග්‍රහණය කොට ගත හැක්කේ ප්‍රේමයට නිසා වන්නට ඇත. රෝස මලකට උපමා වන ස්නේහයට එහා ගොස්, රෝස මලේ ලේ පාටට විරහව උපමාකොට සේකරයන් කවි ලිව්වේය. 'බිත්තිය අද්දර රෝස ගහේ පිපිලා, විසාල රෝස මලක් ලේ පාටට.. අඩවන් කවුළු දොරින් බලා සිටී...' රෝස මලේ බාහිර සුන්දරත්වය නොතකා ඔහු ලේ පාට දකියි. කවුළුව නැමැති හදවත් දොර අඩවන් ය. පසුව කවියා එයින් දකින්නේ කුමක්ද. 'රෑ සිහිනෙන් දකිනා ඔබගේ වත දුටුවා මෙන් හැබැහින් අහම්බෙකින්, තිගැස්සින මා සිත.. මොහොතකට..' කවියාට ලේ පාට රෝස මල දැක මුහුණක් සිහි වෙයි. අන්තර්ගතය නිසාවෙන් රසවිඳින්නාගේද හදවත අවසන මොහොතකට තිගැස්සෙයි. ෆැන්ටැසියක නොව යතාර්ථයක් තුල අතර්මං වෙයි. හුදු සින්තටික් බොළඳ ප්‍රේමයෙන් එහා ගොස් හදවත් දැඩිව ස්පර්ශ කරන සේකරයන්ගේ මෙම වදන් සාහිත්‍යයට නිධානයකි. සේකරයන්ගේ තෙවැනි ඇස පුදුමාකාරය. ඔහු සැම විටම අන් කවීන්ගෙන් වෙනස්ම වූ මාර්ගයක ගමන් කලේය. හුදෙක් යතාර්තය ලෙස කවීන් පවසන්නේ, 'ඔක්කොම දේවල් මැරෙනකන් පමණක් ය, මළ පසු සියල්ලෝම සමාන පොළවක මිහිදන් වනනේ ය' යනුවෙනි. නමුත් සේකරයන් දුටුවේ ඉන් එහා ගිය සත්‍යයකි.
'සුදු ඇඳපු සොහොන් කොත් රංචුවක්
බාල මහළු
ලොකු පුංචි
අවතාර මෙන් නැගිට
දෑත් විදහා කියයි ලෝකෙට
තම තමන්ගේ මහන්තත්තය
වයස
වංශය..
මෙතන ඇත්තෙත්
උනුන් පරයා ඉහල නගිනා
ජීවිතයේ බියකරු තරඟයමය..
මට සිත් විය..'
මළ පසුවද වන්සක්කාරකම් ඉස්මතු වනු ඔහු එසේ දැකීය. කෙසේ හෝ සේකරයන්ගේ මෙම අසමසම වූ සාහිත්‍ය බුද්ධිය කලාවට පණ පොවන බැව් නොරහසකි. කවීන් අතරින් මහගමසේකරයන්ගේ නාමය ඉහලින්ම බැබලෙන්නේ ඒ නිසාවෙන් ය. සේකරයන් කල කාව්‍ය වර්ණනාවන්ගේ දී එහි ඇතුලතටම කිමිදී ගැඹුරින්ම එය විඳීමේ අවස්තාව රසවිඳින්නාට හිමි වෙයි. සතුට, දුක, සැනසුම, ප්‍රේමය, ආදරය, විරහව සියල්ලම උපරිම වින්දනයෙන් වචන කිහිපයක් තුලට ගුලි කරන්නට සේකරයන් සමත් විය. අවසන් හුස්ම පොද තෙක් ම සාහිත්‍යයේ හෙට දවසට නිර්මාණ රැසක් දායාද කල සේකරයෝ 1976
ජනවාරි 14 දින අකාලයේ දැයෙන් සමු ගත්තේය. ඔහුගේ කෙටි කාලීන සේවය වර්තමානයේදී වචනයෙන් කිව නොහැකිය. මිය යමින් පවතින සාහිත්‍යයේ, වැටෙමින් ඇති හුස්ම පොදටද වගකිවයුතු අතළොස්සක් වේ නම්, සේකරයන් ද අනිවාර්යයෙන්ම එහි මුල් පුරුකක් බව සැබෑවකි.
'ඕනෑම දැඩි හදවතක් වුවද
දයා දියෙන් ආර්ද්‍ර වී
කඳුළු සලන මොහොතක් ඇත..
ඒ මොහොතෙදි ඒ හදවත
අත්ලට ගෙන බලනු මැනව
මේ ලොව අන් කිසිම දෙයක්
ඒ තරමට සුන්දර නැත...'