ලියන්න මුකුත් නැති තැන මතක් කලා මම උඹ ගැන ටිකක්. ඇත්තටම උඹ මට නිතර මතක් උනත් මං ඒ ඉක්මනටම උඹව අමතක කරනව. ඒ, ඒ අතීතෙට ආදරේ නැති නිසා නෙමෙයි. ඒ අතීතේ දැන් තියන වර්තමානෙට බය නිසා. උඹ දන්නවද මං මතක් කලා මන් උඹව ඉස්සෙල්ලම දැක්ක දවස. මට අද වගේ මතකයි. උඹ සුදු පාටයි නිල් පාටයි කමිසෙකට ඩෙනිම් කලිසමක් ඇඳල හිටියෙ. එදා තමයි මං උඹව ඉස්සෙල්ලම දැක්ක දවස. එත් මං එදා උඹට ආදරේ කලේ නෑ. හැබැයි මට එදා හිතුන මං උඹට ආදරේ කරයි කියල. උඹ එදා ඇවිත් ඉස්සෙල්ලම මට අතට අත දුන්න මතකයි. ඒ කොළඹදි. එදා උඹ මාත් එක්ක සෑහෙන්න කතා කලත් මං උඹට වැඩිය කතා කලේ නෑ. මොකද මට එහෙම කතා කරන්න දෙයක් තිබුනේ නෑ. ආදරේ කියන්නේ මොකද්ද කියලවත් මට අදහසක් තිබුනේ නෑ. උඹ මට සෑහෙන්න දේවල් කිව්ව. ඉගෙනීම ගැන, ජිවිතේ ගැන, ගොඩක් දේවල්. මං ගණන් නොගන්න ගානට හිටිය කියල උඹ මට බැන්නත් මට මතකයි. ඒත් අද ඒ දේවල් මට වචනයක් වචනයක් ගානෙ මතක තිබ්බට උඹට නම් වචනයක්වත් මතක නැති වග මං හොඳට දන්නව. එදා උඹ මට earphone එකක් තෑගි දුන්න මතකද? ඒක අදටත් පරෙස්සමට මගේ බෑග් එකේ තියනවා. ඒත් ඒකෙ එක පැත්තක්වත් දැන් ඇහෙන්නේ නෑ. 😄 ඒක ඔතල තිබ්බ කවරෙත් මගේ ළඟ පරෙස්සමට තියෙන වග උඹ දන්නේ නැතුව ඇති. ඒක දුන්නෙ පහු වෙච්ච මගෙ උපන්දිනේට කියල.
එදා හවස උඹ ඉස්සෙල්ලම මට කෝල් කළා මතකයි. හරියටම හවස 6ට විතර. මං ගෙදර ගියාද බලන්න. එදා ඉඳල උඹ මට ටික ටික ලං වෙලා පස්සෙ කාලෙක ආදරේ කිව්වත්, ආදරේ කියන්නේ මොකද්ද කියලවත් නොදැන උන්නු මං උඹව ඉස්සෙල්ලම දැක්ක දවසේ ඉඳල උඹට පොඩ්ඩ පොඩ්ඩ ආදරේ කරල තිබුන. ඒත් මගේ හිතේ තිබුනේ බයක්. උඹ යන්න යයි කියල. කොහොමහරි කාලයත් එක්ක මං උඹට නොසෑහෙන්න ආදරේ කලා. ඒ ආදරේ මෙච්චරයි කියල කියන්න බැරි තරමට. අව්රුද්දකටත් එහා ආදරේ කරපු මට උඹේ පුංචි වෙනසත් මහ ලොකුවට දැනුන. ඒත් ඒ ආදරේ පොඩ්ඩක්වත් අඩු උනේ නෑ. උඹේ ආදරේ අඩු වෙන වගත් මට නොදැනුනා නෙමෙයි.
උඹට මං නොසෑහෙන්න ආදරේ කළා. උඹට මතක නැතුව ඇති මං උඹට කවදාවත් බැනල නෑ කියල. මං කිව්වෙ ඒ කාලෙ. කකුල් දෙක අල්ලලා වැඳල යන තරමට මං උඹට ආදරේ කළා. කාලයත් එක්ක උඹ මට ඒ තරම් ආදරේ නැති වග මා එක්ක කිව්වා උනත්, මගේ ආදරේ මෙහෙමයි කියලවත් වෙනසක් උනේ නෑ. ඒත් මට වරදක් නොකියම පවා උඹ මාව දෙතුන් පාරක් දාල යන්න හදද්දි මං අඬල අඬල උඹට ඉන්න කිව්වෙ ඇයි කියල මට අදටත් හිතාගන්න බෑ. අන්තිමේදි උඹ යන්න ගියා. දැන් ටික කාලෙකට කලින් ඒ. පුරුදු විදියටම එදත් උඹ කිව්වේ, උඹට දැන් මං ගැන ආදරයක් හිතෙන්නේ නෑ කියල. උඹ ඉන්නකල් උඹට ආදරේ කළා මදි නේද කියල මට දැන් හිතෙනවා මැණික. ගියාට පස්සේ මං උඹට නොසෑහෙන්න බනින්න ඇති. හැබැයි ඒ වෙන කා එක්කවත් නෙමෙයි. උඹ එක්ක විතරයි. හැබැයි ඒ මං කිව්ව වචන උඹට මන් ගැන කේන්තියක් ඇති කරනවා කියල මං දන්නව. ඒ වචන වලින් උඹට රිදුන. හැබැයි ඒ වචන වලින් උඹට වඩා ගොඩක් මට රිදුන මැණික. උඹ දැන් මට වෛර කරනව ඇති. සමහර විට එහෙම නැතුවත් ඇති. ඒ මොනව කොහොම උනත් මං එදා වගේම අදටත් උඹට ආදරෙයි. සමහරවිට එදාටත් වඩා.
උඹ මට ආදරේ කරන හැටි උගන්නපු විදියටම වෛර කරන්නත් ඉගැන්නුවනම් කියල හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. කොහොම උනත් ජිවිතේ ඉස්සරහට යනවද නැද්ද කියල තීරණය කරන්න මට මේ ගෙවෙන පැය 24 මදි. ඒ හැම තප්පරේම මට මතක් වෙන්නේ උඹව. දැන් ඉන්න උඹව නෙමෙයි. ඉස්සර හිටිය උඹව. මං උඹේ හැම හුස්මකටම ආදරේ කලා. ඒ ආදරේ උඹට මුණගැහේවි රත්තරන්. කවදම හරි, කොහේදිම හරි තැනක. උඹයි මමයි විතරක් දන්න, මම විතරක් ජීවත් වෙච්ච, උඹේ ආදරේ දිය වෙච්ච, මගේ ආදරේ මැරිච්ච තැනක..

No comments:
Post a Comment