Thursday, May 24, 2018


එයා මගෙ අත හයියෙන් අල්ලගත්ත..

එයාගෙ ඇස් වල කඳුලු. මං දිහාව බැලුවෙ නෑ. කොළඹ අහස ආයෙම කළුවර වේගෙන එනව. තව පොඩ්ඩකින් කඩන් වැටෙන වැස්සක් මට පෙනුන. අහසෙ නෙමෙයි. එයාගෙ මූනෙ

'ඔයාට දුක නෑ?'

'ම්හ්හ්'

එයා හෙමීට මගෙ අත අතෑරිය. එයා උත්තරේ බලාපොරොත්තු උනා කියල මං දැනන් හිටිය. එයාගෙ හුස්ම මට ඇහුණ. ඒව හිස් විදියට වැටෙන හැටි මට හොඳටම ඇහුණ.

'මං යන්නම් අහස්'

මං මුකුත් කිව්වෙ නෑ. කොටින්ම මං එපා කිව්වෙ නෑ. එයා අඩියට දෙකට එතනින් යන්න ගියා. ගිහින් විනාඩියක් උනේ නෑ ගුලි වෙලා තිබුණු වැස්ස කඩාගෙන වැටුණ. අහසින් නෙමෙයි. මගෙ ඇස් වලින්. උඹට නොකිව්ව වචන දිය වෙවී මගෙ කම්මුල් දිගේ රූරන්න ගත්ත

වෙන කවුරුත් නොදන්න, උඹේ ළඟ උඹට හොරෙන් නැවතුණ ආදරේ හෙටටත් කොළඹ අහස යට සුසුම් හෙලාවි. මට ඕන උනේ උඹට යන්න නොදෙන්න. උඹව තුරුල් කරගන්න. ඉස්සර වගේ දැනෙන්න. ආදරේ විඳින්න. උඹට තුරුල් වෙලා උඹ එක්කම අඬන්න. ඒත් මං උඹට යන්න දුන්න

ජීවිතේ කොළඹ අහස යටම නැවතුනා. කෙලවරක් කොතනද කියල නොදැනම මං ඔහේ ඇවිද්ද. ජීවිතේ ඇතුලෙ. බලාපොරොත්තු, හීන, එක්ක ආදරෙත් ගුලි කරල අහසට විසි කරපු මිනිහෙක් වගේ මං අදටත් කොළඹ අහස යට. උඹ දන්නවද? මට එක දෙයක් විසි කරන්න බැරි උනා. උඹේ මතකය.

මතක හැම එකකම එයා මගේ ළඟට ආව.

එයා මගෙ අත හයියෙන් අල්ලගත්ත.. 

-නෙත්මි-



No comments:

Post a Comment