Saturday, June 16, 2018



ඔව්.. ඒක හීනයක්..

මං ඇහැරුනේ ගැස්සිලා. මගෙ ඇස් වල කඳුලු පිරිල තිබුන. ජීවිතේ අතරමැදක නැවතුනු තැනකට හීන අපිව අරන් ගියහම අපි කොයි තරම් නම් අසරණ වෙනවද..

මට හීනෙන් පෙනුන වගේම දැනුන උඹේ ආදරේ ඉල්ලල ආයෙත් ඇස් රිදෙන්න පටන් ගත්ත. උඹ මේ අහස යටම කොහේ ඉන්නව ඇතිද.. මට උඹව දකින්න ඕනෙ උනා. අතට අහු උන ඇඳුමක් ඉක්මනටම ඇඳගෙන මං පාරට බැස්සෙ උඹේ අවුරුදු 4කින් ඇමතුවෙ නැති අංකෙට කෝල් එකක් ගන්න ගමන්.

ඒත් උඹගෙ අංකෙ වැඩ කලේ නෑ.

පපුවෙ හිර වෙලා තිබ්බ හැඟීමක් එක පාරට එලියට ඇවිත් වගේ මං පිස්සුවෙන් උඹව හොයාගෙන එන්න පටන් ගත්ත. උඹගෙ ගෙදර ගියා. උඹල එහෙ නෑ. මට යන්න එන්න තැනක් හිතාගන්න බැරි උනා..
මං ගියා. අපි නිතර හම්බ වෙච්ච බෙල්ලන්විල පාක් එකට. අපි ලං වෙලා උන්නු බංකුව උඩට..
මං එතන ඉඳගත්ත. ජීවිතේ කවදාවත් මට නොදැනුන මූසල පාලුවක් මට මොහොතෙ දැනුන. අපි මෙතන කොයි තරම් නම් ආදරෙන් ඉන්න ඇතිද.. අපිට අපි නැතුව බැරි උන තරම්.. මට උඹේ සුවඳ දැනුන. උඹේ උනුහුම දැනුන. කොටින්ම මට උඹේ නැති වෙච්ච ආදරේ දැනුන. තප්පරේකට මං ජීවත් වෙනව වගේ දැනුන. මං බංකුව උඩට වෙලා කඳුලු පුරෝගෙන පැය දෙකක් විතර ඉන්න ඇති.. මට හැම තප්පරේකම උඹේ කටහඬ ඇහුන. ඔව්. මං උඹව අඬවන්න ඇති. උඹ යන්නෙපා කියද්දි මං උඹව දාල යන්න ඇති. මට මතකයි උඹ එදා කිව්ව. උඹේ හිතයි ආදරෙයි දෙකම උඹ අපි එදා අන්තිමට හම්බුනු වෙලාවෙ මේ බෙල්ලන්විල පාක් එකේ බංකුව උඩ තියල යනව කියල. අද මං උඹ තියල ගිය හදවත මෙතන හොයනව..

ඒත් මට ඒක හොයාගන්න බෑ..

ජීවිතේ මාත් එක්ක අමුතු සෙල්ලමක් පටන් අරන් වග මට දැනුන. උඹ කොහේ කොතන ඉන්නවද කියල මං දන්නෙ නෑ. ඒත් මං එක දෙයක් දන්නව. උඹ අදටත් ඉන්න තැනක ඉඳන් මං ගැන පොඩ්ඩක් හරි හිතනව කියල. මට උඹේ අප්රමාණ සෙනෙහස එදා වැඩි උනා. ඒත් අද මං උඹ එදා අතරමං උන තරමටම අතරමං වෙලා. උඹේ ඇස් එදා කොච්චර නම් රිදෙන්න ඇතිද..

මට ඒක අඩු නැතුව දැනුන..

ඔව්. මං අද උඹ දාල ගියයි කිව්ව උඹේ හදවත හොයනව. අවට කලුවර වීගෙන එද්දි මට උඹේ යන්තමට අමතක වෙලා ගිය බොඳ වෙච්ච රූපෙ මතකෙට එනව. මට මාව ආයෙ හොයාගන්න බැරි තැනක මං අතරමං වෙලා කියල මට දැනෙනව..

ඔව්. මං ආයෙත් ආදරේ කරනව. උඹට. ඉස්සර උඹ මට කරපු තරමටම. උඹ හදවතින් විතරක් ඉල්ලපු තරමටම. උඹට අඬන්න ඉඩක් නැති වෙන තරමටම. කොටින්ම උඹට වැඩි වෙන තරමටම..

ඒත් මං තවම මෙතන..බෙල්ලන්විල පාක් එකේ බංකුව උඩ.. උඹ දාල ගිය හදවත හොයනව.

මගේ පපුවට තුරුල් කරගන්න... 

-නෙත්මි-




No comments:

Post a Comment